Wednesday, October 23, 2019

සෑම දිනකම සමබල ලෙස ආහාර අනුභව කරන්න පුරුදු වෙමු 





ආහාර ගැනීම ප්‍රීතිමත් ජීවිතයක් පවත්වා ගැනීමට හේතු වන සාධක වලින් එකක් වේ. නීරෝගී ජීවිතයක් ගත කිරීමටත් ඔබේ ශරීරයේ බර පාලනය කර ගැනීමටත්  ඔබ ගන්නා ආහාර වල සමබරතාවය වැදගත් වේ. නමුත් මේ නිසා ඔබේ සෞඛ්‍යය ගැන පමණක්ම සිතා ඔබ සතුටින් භුක්ති විඳින ආහාර සම්පූර්ණයෙන්ම අත් හරින්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වෙනුවට, විවිධත්වය සහ මධ්‍යස්ථභාවය ඉලක්ක කර ගෙන ඒ අනුව ඔබේ ආහාර රටාව පවත්වාගෙන යන්න. සෞඛ්‍ය සම්පන්න බවට මුල් තැන දෙන අතරම විවිධ රස, සුවඳ, පෙනුම සහ වර්ණ සහිත ආහාර වලින් සතුටක් ලබන්න.

ඔබට නිරෝගී දිවියක් පවත්වා ගැනීමට ශක්තිය හා පෝෂ්‍ය පදාර්ථ සපයන ආහාර කාණ්ඩ හයක් තිබෙනවා. මේ සෑම ආහාර කාණ්ඩයක්ම ඔබේ ශරීරයට අවශ්‍ය විවිධ පෝෂ්‍ය පදාර්ථ ලබා දෙනවා. ඉතින් අපි බලමු ඒ ආහාර කාණ්ඩ මොනවාද කියලා:

1. ධාන්‍ය වර්ග සහ අල වර්ග

සහල්, තිරිඟු, කුරක්කන්, බඩ ඉරිඟු , සහල් සහ තිරිඟු පිටි වලින් සකසන ආහාර (පාන්, නූල් ආප්ප ආදිය)
අල වර්ග:- මඤ්ඤොක්කා, අර්තාපල් සහ බතල, ඉන්නල, කිරි අල
පිෂ්ඨය සහිත එළවලු- කොස්, දෙල්
මේ ආහාර ඔබේ දෛනික කටයුතු සඳහා ශක්තිය සපයයි.


2. පලතුරු


කෙසෙල්, අඹ, පැපොල්, අන්නාසි, දොඩම්, පේර, අලිගැටපේර ආදිය. මේ ආහාර රෝග වලින් ඔබව ආරක්ෂා කරයි





3. එළවළු

කොළ වර්ග- කන්කුන්, නිවිති, ගොටුකොළ, මුකුනුවැන්න, සාරණ, කතුරුමුරුන්ගා, මුරුංගා කොළ යනාදිය
එළවළු - කරවිල, වම්බටු, අළු කෙසෙල්, මුරුංගා, තක්කාලි, කැරට්, බීට් ආදිය.
මේ ආහාර රෝග වලින් ඔබව ආරක්ෂා කරයි



4. මාළු, මස්, බිත්තර, පියලි සහ ඇට වර්ග 

මාළු - මිරිදිය මාළු සහ මුහුදු මාළු, හාල්මැස්සන්, වේලපු මාළු, කටුව සහිත මාළු (ඉස්සන්, දැල්ලන්)
මස් - කුකුළු මස්, හරක් මස්, ඌරු මස්, එළුමස්
බිත්තර - කිකිළි බිත්තර, තාරා බිත්තර, වටු බිත්තර
පියලි සහ ඇට වර්ග - කඩල, මුං ඇට, කව්පි, සෝයා, බෝංචි, කොල්ලු, පරිප්පු
මේ ආහාර ඔබේ ශරීරයේ වර්ධනයට හා නඩත්තු කිරීමට උපකාරී වේ


5. කිරි නිෂ්පාදන

කිරි, මුදවපු කිරි, යෝගට්, චීස්
මේ ආහාර ඔබේ අස්ථි හා දත් වර්ධනයට හා නඩත්තු කිරීමට උපකාරී වේ




6. තෙල් සහිත ඇට වර්ග සහ බීජ

පොල්, කජු, රට කජු, කොට්ටං, වට්ටක්කා ඇට
පොල් කිරි, පොල්තෙල්, තල තෙල්, පාම් තෙල්, එළවලු තෙල්
බටර්, මාගරින්, ගිතෙල්
මේ ආහාර ශාරීරික ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය ශක්තිය ලබා දීමට උපකාරී වේ

මෙම සෑම කාණ්ඩයකටම අයත් අහාර දිනපතා අනුභව කිරීමට වග බලා ගන්න. කාණ්ඩ එකක් හෝ දෙකකින් විශාල ප්‍රමාණයක් අනුභව කරනවාට වඩා මේ එක් එක් කාණ්ඩයෙන් සාමාන්‍ය ප්‍රමාණයට ආහාර ඔබේ ආහාර වේල් වලට ඇතුළත් කිරීම වැදගත් වෙනවා. මෙය ඔබේ ආහාර වේලෙහි විවිධත්වය සහතික කරන අතරම එමඟින් ඔබේ ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ දිනපතා ලබා දීමත් සිදු කරනවා.

එක් එක් ආහාර කාණ්ඩයෙන් කොපමණ ප්‍රමාණයක් පරිභෝජනය කළ යුතුද?
සෑම ආහාර කාණ්ඩනම දිනකට පරිභෝජනය කල යුතු ප්‍රමාණය එක එක පුද්ගලයාගේ වයස, ස්ත්‍රී පුරුෂ භාවය, ශරීර ප්‍රමාණය, ක්‍රියාකාරීත්වයේ මට්ටම සහ ජීවන චක්‍රයේ තමන් දැනට ගෙවන අවධිය මත රඳා පවතිනවා. රෝගාබාධ ද අතිරේකව සලකා බැලීම වැදගත්. සෑම විටම මෙවැනි උපදෙස් ලදා ගැනීම සඳහා ඔබගේ පවුලේ වෛද්‍යවරයාගේ හෝ සුදුසුකම් ලත් පෝෂණ වේදියෙකුගේ සහය පැතීම වැදගත් වෙනවා. ඔවුන් විසින් ඉහත සඳහන් කල කාරනා සලකා බැලීමෙන් පසුව සමහර ආහාර වලින් වැඩි ප්‍රමාණයක් (ධාන්‍ය, පලතුරු සහ එළවළු) සහ අනෙක් ඒවායින් අඩුවෙන් (මේද හා තෙල්) අනුභව කරන්නට ඔබට උපදෙස් ලබා දෙන්නට පුළුවන්. එවැනි උපදෙස් ලබන තෙක් සමබල ආහාර වේලක් ගැනීම වඩා සුදුසුයි.

විටමින් සහ ඛනිජ ලවණ වල කාර්යභාරය
ඔබේ දෛනික පෝෂණ අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා විටමින් පෙති වැනි සකසන ලද අතිරේක ආහාර වලින් නොව පෝෂණ ගුණයෙන් බහුල නැවුම් ස්වභාවික ආහාර වලින් සපුරා ගැනීමට උත්සාහ කිරීම වඩාත් සුදුසුයි. ස්වභාවික ආහාරවල වලින් ඔබේ සිරුරට ලැබෙන සෞඛ්‍යමය වාසි බොහොමයක් වන අතර මේ සියල්ල එලෙසින්ම අතිරේකපෙති වැනි ආහාර වලින් ලබා ගැනීමට නොහැකි වීමට හැකියි. කෙසේ වෙතත්, සමහර අවස්ථාවල ඔබේ වෛද්‍යවරයා විසින් එවැනි පෙති වර්ග ආදිය නිර්දේශ කරන්නේ නම් ඔබ ඒවා ලබා ගැනීම කල යුතුය.

නිර්මාංශ ආහාර 
නිර්මාංශ ආහාර  නිවැරදි ලෙස සැලසුම් කර ඇත්නම් සෞඛ්‍ය සම්පන්න සහ පෝෂ්‍යදායී වෙනවා. ප්‍රෝටීන්, යකඩ, විටමින් බී 12 කැල්සියම් සහ සින්ක් වැනි පෝෂ්‍ය පදාර්ථ ඌනතාවයන් නිර්මාංශිකයින් අතර බහුලව දක්නට ලැබෙන අතර විවිධත්වයෙන් යුතු ආහාර වර්ග ඔබේ දෛනික ආහාර වේලට ඇතුළත් කිරීමෙන් මෙවැනි ඌනතාවයන් ඇති වීම වලක්වා ගන්නට පුළුවන්.
සියළුම නිර්මාංශිකයින් තම දෛනික ආහාර වේලට ධාන්‍ය වර්ග, පියලි සහ ඇට වර්ග, තෙල් සහිත අට සහ බීජ අවශ්‍ය තරම් ඇතුලත් කර ගන්නට වග බලා ගැනීම වැදගත්ය. පලතුරු, එළවළු සහ තද කොළ පැහැති කොළ වර්ගද දෛනික අවශ්‍යතා සපුරාලීමට යොදා ගැනීම වැදගත් වේ. විවිධ කිරි නිෂ්පාදනයන්ද දෛනික ආහාර වේලට එකතු කර ගත යුතු වැනී එමගින් අස්ථි හා දත් වර්ධනයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සපයන අතරම ශරීරයේ වර්ධනයට හා නඩත්තු කිරීමටද ඒවා උපකාරී වන නිසයි.




පින්තූර: අන්තර්ජාලයෙන් සහ PublicDomainPictures from Pixabay (https://pixabay.com/)

Saturday, October 12, 2019


මව්කිරි වඩවන ආහාර සහ පිළිවෙත්




ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව, මව්කිරි වෙනත් කිසිම අහාරයකට සම කල නොහැකි ලෙසට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ පරිපූර්ණ ලෙස සපයා ළදරුවන්ගේ සෞඛ්‍ය වර්ධනයට දායක වන අතරේම මව්වරුන්ගේ සෞඛ්‍යය නිසි පරිදි පවත්වා ගැනීමටත් උපකාරී වෙනවා.

මුල් මාස හය තුලදී මව්කිරි ඔබගේ දරුවාට හොඳම ආහාරය වන අතරේම ඔබේ දරුවාට ඔහුගේ පළමු මාස ​​හය තුළ අවශ්‍ය සියලුම පෝෂණය එහි අඩංගු වෙනවා. ඒ වගේම, ඔබ විසින් ඇතැම් රෝගාබාධවලට එරෙහිව වර්ධනය කරගෙන ඇති ප්‍රතිශක්තිය මව්කිරි හරහා ඔබේ දරුවා ලබා ගන්නවා. වැදගත්ම දේ නම්, මව්කිරි දීම මගින් ඔබ සහ ඔබේ දරුවා අතර ඇති බැඳීම වැඩි දියුණු වීමයි. මව්කිරි දෙන මවට බොහෝ විට තම ළදරුවන් කෙරෙහි දැඩි සමීප හැඟීමක් ඇති වෙනවා වගේම ළදරුවාටත් ඒ හැඟීම ඇති වෙනවා.

ඔබේ දරුවා ඉපදුණු විගසම, ළදරුවාව ඔබේ සිරුරට සමීප කරගෙන සිටීම මව්කිරි දීම ආරම්භ කිරීමට හොඳම ක්‍රමයකි. ‘මවගේ සිරුරට ළදරුවාගේ සිරුර ස්පර්ශ වීමෙන්’ තවත් වාසි කිහිපයක් සිදු වේ:
  • එය ළදරුවා උණුසුම්ව තබයි
  • ළදරුවා සහ මව සන්සුන් කරයි
  • ළදරුවාගේ හෘද ස්පන්දනය සහ හුස්ම ගැනීම නියමාකාරයෙන් පවත්වා ගනියි
  • මව සහ ළදරුවා අතර බැඳීම සඳහා උපකාරී වේ
  • මව්කිරි දීම සඳහා හොඳ ආරම්භයක් සපයයි
  • ඉල්ලුම මත මව්කිරි දීම දිරිමත් කරයි

මව්කිරි දීමෙන් දරුවාට ලැබෙන ප්‍රතිලාභ:
  • සම්පූර්ණ පෝෂණය: ළදරුවන්ට පළමු මාස ​​හය සඳහා අවශ්‍ය සියලුම පෝෂ්‍ය පදාර්ථ එහි අඩංගු වේ
  • ආසාදන අවදානම අවම කරයි: කොලෙස්ට්‍රම්, උපතින් පසු ළදරුවා වෙනුවෙන් නිපදවෙන මුල්ම මව්කිරි ප්‍රතිදේහ වලින් ඉතා පොහොසත් වේ. මෙම ප්‍රතිදේහ දරුවාට ආසාදන (උදා: පාචනය සහ ශ්වසන ආසාදන) වලට එරෙහිව සටන් කිරීමට උපකාරී වේ. ඉපදුනු දා සිට මව්කිරි වලින් පෝෂණය වන ළදරුවන්ට අසාත්මිකතා, කොලික් තත්වය හා මලබද්ධය ඇතිවීමේ අවදානම අඩුය.
  • ඔබේ දරුවා ඔබේ මව්කිරෙන් පෝෂණය වන විට ළදරුවාට ලැබෙන සුවපහසු බව සහ ආරක්ෂාව

මව්කිරි දීමෙන් මවට ලැබෙන ප්‍රතිලාභ:
  • පහසුව: කිරි බෝතල්, විෂබීජහරණ හරණය කරන උපකරණ, බෝතල් උණුසුම් කරන උපකරණ හෝ කිරි වල උෂ්ණත්ව පරීක්ෂාවක් අවශ්‍ය නොවේ. ආහාරයට පෙර ඔබේ තනපුඩු වතුරෙන් සේදීම පමණක් ප්‍රමාණවත් වේ
  • පිරිවැය ඉතිරි කිරීම: මව්කිරි සඳහා මුදල් වැය නොවන අතර ළදරු පිටි කිරි සඳහා වියදම් වන මුදල ඉතිරි කරයි
  • ගර්භාෂය  හැකිලීම: මෙය සිදු වන්නේ දරුවා කිරි බොන විටය. ළදරුව කිරි ඉරීම මගින් මවට දරුණු රුධිර වහනයක් ඇතිවීමේ හැකියාව අඩු කරන අතර ගර්භනීභාවයට පෙර ප්‍රමාණයට නැවත ගර්භාෂය පැමිණීම වේගවත් කරයි.
  • විශ්වාසය: මව්කිරි දීම ළදරුවාගේ මානසික හා ශාරීරික අවශ්‍යතා සපුරාලන විට එය මවගේ විශ්වාසය ගොඩනංවයි
  • උපත් පාලනය: මව්කිරි දීමෙන් ඔසප් වීම නැවත ඇති වීම ප්‍රමාද වන අතර ඔබ ළදරුවාගේ පළමු මාස ​​හය තුල මුළුමනින්ම මව්කිරි දුන්නොත් ඔබේ පවුල් සැළැස්ම සඳහා එය උපකාරී වේ.
  • පිළිකා: මව්කිරි දීම සිදු කරන කාන්තාවන් තුළ පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම අඩු වේ.
  • මේද ප්‍රමාණය: මව්කිරි දීමේදී මේදය වැය වන අතර ගර්භණී සමයේදී උකුල් හා කලවා වටා ගබඩා කර ඇති මේදය ඉවත් වීමට ඉඩ ඇත. නමුත් මේ සඳහා මව් කිරේ දීමම ප්‍රමාණවත් නොවේ, ක්‍රමානුකූල ආහාර රටාවකුත් අනුගමනය කිරීම වැදගත්ය.

මව්කිරි වඩවන හොඳම ආහාර සහ පිළිවෙත් ගැන මම මුලින්ම විස්තර කරන්නට හිතුවා. මව්කිරි වඩවන ආහාර සහ පාන වර්ග මොනවාද කියලා අපි මුලින්ම බලමු.


     1. කොස්

     2. පොලොස් 
     3. කරවිල
     4. කෙසෙල් මුව 
     5. කිරි අඟුණ කොළ 
     6. කැරට්
     7. කිරි මෝර මාළු
     8. කොල්ලු 
ආහාරයට ගත හැකි ක්‍රම:
       කොල්ලු ආනම
       කොල්ලු තම්බා ආහාරයට ගැනීම
       කොල්ලු පිටි වලින් රොටි හෝ තලප සාදා ගත හැකිය
       පරිප්පු වැනි ධාන්‍ය වර්ග සාදද්දී එයට කොල්ලු එකතු කල හැකියි
     9. හබල පෙති
                ආහාරයට ගත හැකි ක්‍රම:
       කිරි හෝ වතුර සමග තම්බා ගත් හබල පෙති කැඳ
       හබල පෙති වලින් සෑදූ අග්ගලා
       කිරි වලට මිශ්‍ර කර ගත හැකි කුඩු කර ගත් හබල පෙති
       පාන් වැනි පිටි කෑම වර්ග සාදා ගැනීමේදී කුඩු කර ගත් හබල පෙති තිරිඟු පිටි සමග මිශ්‍ර කර ගත හැකියි
     10. බාර්ලි
                ආහාරයට ගත හැකි ක්‍රම:
       බාර්ලි වතුර (බාර්ලි වතුරේ තම්බා පෙරා ගන්න)
       කිරි සමග මිශ්‍ර කර ගත් බාර්ලි කුඩු
       පාන් වැනි පිටි කෑම වර්ග සාදා ගැනීමේදී කුඩු කර ගත් බාර්ලි තිරිඟු පිටි සමග මිශ්‍ර කර ගත හැකියි
       සුප් වැනි ආහාර වර්ග සැදීමේදී බාර්ලි මිශ්‍ර කර ගත හැකියි
     11. කුරක්කන්
                ආහාරයට ගත හැකි ක්‍රම:
       කුරක්කන් කැඳ
       කුරක්කන් රොටි, ඉඳි ආප්ප හෝ තලප ආදිය සාදා ගත හැකිය
       පාන් වැනි පිටි කෑම වර්ග සාදා ගැනීමේදී කුඩු කර ගත් කුරක්කන් තිරිඟු පිටි සමග මිශ්‍ර කර ගත හැකියි
     12. මාදුරු
                ආහාරයට ගත හැකි ක්‍රම:
       මාදුරු ව්‍යංජන වලට එකතු කිරීම
       මාදුරු ටිකක් වතුරේ පොඟවා ඒ වතුර පානය කිරීම
       මාදුරු වතුරේ තම්බා ඒ වතුර පානය කිරීම
     13. උළු හාල්
                ආහාරයට ගත හැකි ක්‍රම:
       උළු හාල් ව්‍යංජන වලට එකතු කිරීම
       උළු හාල් ටිකක් වතුර සමග ගිල දැමීම 
       උළු හාල් කුඩු ටිකක් වතුරට මිශ්‍ර කර පානය කිරීම 
       රෑ නින්දට යාමට පෙර උළු හාල් ටිකක් වතුරේ පොඟන්න තබා පසුවදා උදේ ඒ වතුර පානය කිරීම
       උළු හාල් වතුරේ තම්බා ඒ වතුර පානය කිරීම
      14. සුදු ළූණු
                ආහාරයට ගත හැකි ක්‍රම:
       හැකි තරම් සුදු ළූණු ව්‍යංජන වලට එකතු කිරීම
       පුළුස්සා හෝ කර කර ගත් සුදු ළූණු ආහාරයට ගැනීම
       කැබලි කර ගත් සුදු ළූණු වතුර සමග පානය කිරීම
       සුදු ළූණු තැම්බූ වතුර පානය කිරීම
     15. කොත්තමල්ලි
                ආහාරයට ගත හැකි ක්‍රම:
       කොත්තමල්ලි  ව්‍යංජන වලට එකතු කිරීම
       කොත්තමල්ලි ටිකක් වතුරේ පොඟවා ඒ වතුර පානය කිරීම
       කොත්තමල්ලි වතුරේ තම්බා ඒ වතුර පානය කිරීම
     16. පොල් කිරි
     17. නැවුම් දියර කිරි
     18. යෝගට්
     19. ඕට්ස්
                ආහාරයට ගත හැකි ක්‍රම:
       කිරි සමග තම්බා ගත් ඕට්ස් කුඩු හෝ කැබලි ආහාරයට ගැනීම
       වතුර සමග තම්බා ගත් ඕට්ස් මී පැණි හෝ යෝගට් වැනි දෙයක්            සමග ආහාරයට ගැනීම
       බිස්කට් වැනි පිටි කෑම වර්ග සාදා ගැනීමේදී කුඩු කර ගත් ඕට්ස් තිරිඟු පිටි සමග මිශ්‍ර කර ගත හැකියි
       සුප් වැනි ආහාර වර්ග සැදීමේදී ඕට්ස් මිශ්‍ර කර ගත හැකියි
     20. ලැක්ටේෂන් කුකීස්
     21. ෆ්ලැක්ස් ඇට 
                ආහාරයට ගත හැකි ක්‍රම:
       අතුරුපස වර්ග සැදීමේදී ෆ්ලැක්ස් ඇට එකතු කල හැකියි
       බිස්කට් හෝ බනිස් වර්ග සැදීමේදී ෆ්ලැක්ස් ඇට එකතු කල හැකියි
       රෑ නින්දට යාමට පෙර ෆ්ලැක්ස් ඇට ටිකක් සීතල වතුරේ පොඟන්න තබා පසුවදා උදේ එය පානය කිරීම
     22. චියා ඇට 
                ආහාරයට ගත හැකි ක්‍රම:
       අතුරුපස වර්ග සැදීමේදී චියා ඇට එකතු කල හැකියි
       බිස්කට් හෝ බනිස් වර්ග සැදීමේදී චියා ඇට එකතු කල හැකියි
       රෑ නින්දට යාමට පෙර චියා ඇට ටිකක් සීතල වතුරේ පොඟන්න තබා පසුවදා උදේ එය පානය කිරීම
     23. තල ඇට 
                ආහාරයට ගත හැකි ක්‍රම:
       අතුරුපස වර්ග සැදීමේදී තල ඇට එකතු කල හැකියි
       බිස්කට් හෝ බනිස් වර්ග සැදීමේදී තල ඇට එකතු කල හැකියි
     24. ආමන්ඩ්
                ආහාරයට ගත හැකි ක්‍රම:
       අමු හෝ කර කර ගත් ආමන්ඩ් ආහාරයට ගැනීම
       ආමන්ඩ් කිරි පානය කිරීම
       අතුරුපස හෝ සලාද වර්ග සැදීමේදී ආමන්ඩ් එකතු කල හැකියි
       බිස්කට් හෝ බනිස් වර්ග සැදීමේදී ආමන්ඩ් එකතු කල හැකියි
     25. බෘව(ර්)ස් යීස්ට්
                ආහාරයට ගත හැකි ක්‍රම:
       යෝගට් වැනි ආහාර සමග බෘව(ර්)ස් යීස්ට් අහාරයට ගැනීම
       අතුරුපස වර්ග සැදීමේදී ගැලපෙන පරිදි බෘව(ර්)ස් යීස්ට් එකතු කල හැකියි
       බිස්කට් හෝ බනිස් වර්ග සැදීමේදී ගැලපෙන පරිදි බෘව(ර්)ස් යීස්ට් එකතු කල හැකියි
     26. මෝල්ටඩ් මිල්ක් පාන වර්ග

දැන් අපි බලමු, සෞඛ්‍ය සම්පන්න ආහාර සහ පාන වර්ග වලට අමතරව, මව්කිරි සැපයුම වැඩි කිරීම සඳහා භාවිතා කළ හැකි අනෙක් ක්‍රම සහ පිළිවෙත් මොනවාද කියලා.
  • දිගටම නොකඩවා දරුවාට කිරි දීම සිදු කරන්න. මව් කිරි නිෂ්පාදනය වැඩි කර ගැනීමට හොඳම මාර්ගය නම් දරුවාට නොකඩවා කිරි උරා බීමට දීමයි
  • දරුවාට කිරි දෙන වෙලාවල් අතර අවස්ථා වලදී බ්‍රෙස්ට් පම්ප් එකකින් කිරි දොවන්න. ඔබ වැඩි වැඩියෙන් දරුවාට කිරි බීමට දීම සහ කිරි දෙවීම මගින් ඔබේ ශරීරය වැඩි වැඩියෙන් මව් කිරි නිෂ්පාදනය කිරීමට පෙළඹේ. දොවන විට මව් කිරි නැති වුවත් දිගටම තවත් විනාඩි කිහිපයක් කිරි දෙවීම කරගෙන යන්න. එමගින් ඔබේ ශරීරයට තවත් මව් කිරි නිෂ්පාදනය කිරීමට අවශ්‍ය බව දැනුම් දෙයි. මෙලෙස කිහිප දිනක් කිරීමෙන් මව් කිරි නිෂ්පාදනය වැඩි කර ගැනීමට හැකියාවක් ලැබේ
  • හැකිතාක් වතුර සහ දියර වර්ග පානය කිරීම
  • මව් කිරි දීමට පෙර උණු වතුර හෝ උණුසුම් පානයක් (තේ හෝ කෝපි හැර) පානය කිරීම
  • මෘදු ලෙස පියයුර සම්භාහනය කිරීම. දරුවාට මව් කිරි උරා බීමට දීමට පෙර හෝ කිරි දෙවීමට පෙර උණුසුම් රෙදි කඩකින් පියයුර සම්භාහනය කිරීම
  • මව් කිරි ප්‍රමාණවත් ලෙස නිෂ්පාදනය වේ දැයි යන්න පිළිබඳව අනවශ්‍ය ලෙස සිතා මානසික පීඩනයක් ඇති කර ගන්නේ නැතිව සෑම විටම දරුවාට ඇති තරම් මව් කිරි තිබේ යයි යන ධනාත්මක මානසික තත්වයෙන් යුතුව සතුටින් පසු වෙමින් දරුවාට කිරි දීම 
ඔබ මව්කිරි දෙන මවක් නම්, මේ ආහාර සහ පාන වර්ග ගැනීමෙන් සහ මෙම ක්‍රම අනුගමනය කිරීමෙන් ඔබේ කිරි සැපයුම වැඩි දියුණු කර ගන්නට පුළුවන්.








පින්තූර: PublicDomainPictures from Pixabay (https://pixabay.com/)
වීඩියෝවේ සංගීතය: https://www.bensound.com