Showing posts with label ගර්භණී මව්වරුන්ට වැදගත්. Show all posts
Showing posts with label ගර්භණී මව්වරුන්ට වැදගත්. Show all posts

Tuesday, September 3, 2019

ගර්භණී මව්වරුන්ට අත්‍යාවශ්‍ය දෑ 



දරුවෙක් ලැබෙන්න ඉන්නකොට අම්ම කෙනෙක්ට දැනෙන්නේ තමන්ට මුළු ලෝකෙම ලැබෙන්න යනවා වගේ. තමන්ට ලැබෙන්න ඉන්න දරුවට අවශ්‍ය කරන දේවල් පිළියෙළ කරන එක තමා අම්මලාගේ ලොකුම සතුට. නමුත් සමහර වෙලාවට ගර්භණී මව්වරු දරුවන්ට අවශ්‍ය දේවල් බොහොම උවමනාවෙන් එකතු කරද්දී තමන්ට අවශ්‍ය දේවල් එකතු කර ගන්න එයාලට අමතක වෙනවා, එහෙම නැත්නම් ඒක පසුව කර ගන්න පුළුවන් කියල හිතලම පස්සට දානවා. 

"අනේ මගේ බඩු ටික නම් පස්සේ උනත් ලෑස්ති කර ගන්න පුලුවනිනේ"
"දරුවට බඩු මුට්ටු එකතු කරන අතරේ මගේ බඩු ටික ගන්න දන්නෙම නැතුව අමතක උනා"
"මට කියල ඉතින් එහෙමකට එකතු කර ගන්න දේකුත් නැහැනේ "

ඔන්න සමහර ගර්භණී මව්වරු හිතන හැටි. නමුත් එහෙම හිතලත් බැහැ. ගර්භණී මවකටත් අත්‍යාවශ්‍ය වෙන දේවල් ගොඩක් තියෙනවා. සමහර දේවල් ගර්භණී සමයේ ඉඳන්ම භාවිතයට ගන්න සුදුසු දේවල්. ඉතින් මේ නිසා තමන්ට අවශ්‍ය දේවල් එකතු කර ගන්න එක පසුවට කල් දාන්න නම් එපා. 

මේ ලිපිය කියෙව්වම ගර්භණී මවක් විදිහට ඔයාලටත් හිතේවි ඔයාලටත් කොච්චර නම් අවශ්‍ය වෙන දේවල් ටිකක් තියෙනවද කියලා.

මේ බ්ලොග් ලිපිය ගර්භණී මවකට අවශ්‍ය බඩු භාණ්ඩ පිළිබඳව විස්තර සපයයි. ඔබට මේ ලැයිස්තුව පරීක්ෂා කර ඔබට අවශ්‍ය භාණ්ඩ පමණක් තෝරා ගන්නට පුළුවන්. ඒ වගේම, ඔබට අවශ්‍ය වෙනත් භාණ්ඩ තිබේ නම් ඒවා මෙම ලැයිස්තුවට එකතු කරන්නටත් පුළුවන්. එමගින්, ඔබට ඔබේම අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ සහිත ලැයිස්තුවක් සෑදිය හැකියි.

ගර්භණී මවුවරුන්ට අවශ්‍ය වන බඩු භාණ්ඩ 

  1. බෙඩ් ජැකට් සහ චීත්ත (පශ්චාත් ප්‍රසව ඇඳුම්)
  2. දිවා කාලයේ ඇඳීමට සුව පහසු ඇඳුම් (පශ්චාත් ප්‍රසව ඇඳුම්): බෙඩ් ජැකට් සහ චීත්ත ඇඳීම වෙනුවට, ඔබ කැමති නම් දරු ප්‍රසූතියෙන් පසු ඇඳීමට සුව පහසු ඇඳුම් තෝරා ගන්නට පුළුවන්. කෙසේ වෙතත්, එවැනි ඇඳුම් තෝරාගැනීමේදී ඔබට පහසුවෙන් මව්කිරි දීමට හැකි ආකාරයේ ඇඳුම් තෝරා ගැනීමට උත්සාහ කරන්න 
  3. සුව පහසු රාත්‍රී ඇඳුම් (පශ්චාත් ප්‍රසව ඇඳුම්)
  4. ළදරුවාට කිරි දීමට පහසු ඇඳුම් (කරුණාකර විවිධ වර්ගයේ ළදරුවාට කිරි දීමට පහසු ඇඳුම් දැකීමට පහත වීඩියෝව පරීක්ෂා කරන්න): මේවා විශේෂයෙන් නිර්මාණය කර ඇත්තේ ඔබ යන ඕනෑම තැනකදී ඔබට පහසුවෙන් මව්කිරි දීමට හැකි වන පරිදිය. මෙම ඇඳුම්වල ඇති වඩාත් විශේෂත්වය නම්, පිටතින්, මෙම ඇඳුම් කිරි දීමට පහසු ලෙස සකස් කල ඇඳුම් බව කිසිවෙකුට පවසන්නට නොහැකි වීමයි 
  5. මාතෘ සමයේ ඇඳීමට සුදුසු සහ පහසු යටිකය යට ඇඳුම් (maternity panties) 
  6. ළදරුවාට කිරි දීමට පහසු උඩුකය යට  ඇඳුම් (maternity bras) (කරුණාකර විවිධ වර්ගයේ මාතෘ උඩුකය යට ඇඳුම්රා බැලීමට පහත වීඩියෝව පරීක්ෂා කරන්න)
  7. න(ර්)සින්ග් පෑඩ්ස්, බ්‍රෙස්ට් පෑඩ්ස් ලෙසද හඳුන්වයි - නර්සින්ග් පෑඩ්ස් දෙකක් ඔබගේ උඩුකය යට ඇඳුම තුල අලවා තබා ගැනීමෙන් හදිසි මව්කිරි කාන්දු වීමකදී උඩුකය උඩ ඇඳුම තෙත් වීමෙන් වලක්වා ගත හැකි වේ (කරුණාකර නර්සින්ග් පෑඩ්ස් භාවිතා කරන්නේ කෙසේදැයි බැලීමට පහත වීඩියෝව බලන්න)
  8. අධික උරා ගැනීමේ හැකියාවක් ඇති සනීපාරක්ෂක තුවා / මාතෘ සනීපාරක්ෂක තුවා / සාමාන්‍ය සනීපාරක්ෂක තුවා 
  9. තනපුඩු වල ආලේප කරන ක්‍රීම්: තුවාල වී හෝ ඉරි තැලී  වේදනා දෙන තන පුඩු වලට සහනයක් ලබා දෙයි       
  10. ස්ට්‍රෙච් මාර්ක්ස් ක්‍රීම්: ඔබේ ගර්භණී සමයේදී ඔබේ උදරයෙහි නියමිත තෙතමනය රඳවා තබා ගැනීමට මෙම ක්‍රීම් භාවිතා කළ හැකි අතර එමගින් උදරය කැසීම සහ කැළැල් ඇති වීම අවම කර ගත හැකිය
  11. පශ්චාත් ප්‍රසූති අවදියේදී උදරය තද වන ලෙස ඇඳිය හැකි බඳ පටිය (girdle) (පශ්චාත් ප්‍රසව ඇඳුම්)
  12. මව් පදවිය දැරීමේදී වැදගත් වන තොරතුරු, අදහස් සහ උපදෙස් ලබා ගත හැකි පොත් පත්, වෙබ් අඩවි, වීඩියෝ, සහ අන්තර්ජාලයේ ඇති විශ්වසනීය සමූහයන් පිළිබඳව දැනුවත් වීම         
  13. පෞද්ගලික සනීපාරක්ෂාව උදෙසා අවශ්‍ය කරන බඩු බාහිරාදිය (නිවසේදී භාවිතයට අමතරව මේ  බඩු ගැන සැලකිලිමත් වීම වඩාත්ම වැදගත් වන්නේ දරු ප්‍රසූතියට රෝහල් ගත වීමේදී මවගේ කළමනා දමාගෙන යන බෑගයට එකතු කිරීමටයි): පනාවක්, දත් බෙහෙත්, දත් බුරුසුව, සබන් හෝ බාත් ජෙල්, ක්‍රීම්, කොලෝන්, සැප පහසුව සහිත සෙරෙප්පු කුට්ටමක් වැනි දේ    
මේ බ්ලොග් ලිපිය ගර්භණී මව්වරුන්ට ඔවුන්ගේම අත්‍යවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවක් සැකසීමට ප්‍රයෝජනවත් වේවි කියලා මම විශ්වාස කරනවා. ගර්භණී මවකට අවශ්‍ය තවත් බොහෝ දෑ තිබෙන්නට පුළුවන්. මෙම ලිපියේ මම වඩාත් අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ ලැයිස්තුගත කර තිබෙනවා. මම කලිනුත් සඳහන් කළා වගේ ඔබට මේ ලැයිස්තුව පරීක්ෂා කරලා ඔබගේ කැමැත්ත අනුව භාණ්ඩ එකතු කිරීම හෝ ඉවත් කිරීම කරන්නට පුළුවන්.

පහත ඉදිරිපත් කර තිබෙන වීඩියෝවේ ඉහත ලැයිස්තුවේ තිබෙන බඩු භාණ්ඩ වල චායාරූප පමණක් නොවෙයි සමහරක් බඩු භාණ්ඩ පිළිබඳව වැඩි දුර විස්තර පටිගත කල දර්ශන ලෙසත් ඇතුලත් කර තිබෙනවා.







පින්තූර: PublicDomainPictures from Pixabay (https://pixabay.com/)
වීඩියෝවේ සංගීතය: https://www.bensound.com

Thursday, August 22, 2019

ගර්භණී  මව්වරුන්ට වැදගත් වන උපදෙස්



ඔබත් ගර්භණී මවක්ද? ඔබටත් මේ වගේ ප්‍රශ්න හිතට නැගිලා තියෙනවද?

"මේ කාලේ විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනි දේවල් මොනවද දන්නේ නැහැ"
"තේ කෝපි හෙම බොන්න එපා කිව්වේ ඇයි දන්නේ නෑ"
"අනේ මගේ හිත ටිකක් සැහැල්ලු කර ගන්න තිබුන නම් හොඳයි"

මේ වගේ දේවල් ඔයාලටත් හිතිලා තියෙනවා නම් මේ ලිපිය ඔයාලට වැදගත් වේවි.

ගර්භණී කාන්තාවන්ට හෝ ගැබිණි බව බලාපොරොත්තු වන කාන්තාවන්ට සාමාන්‍යයෙන් ඔවුන්ගේ ගර්භණී සමය තුලදී  නොයෙක් ගැටළු සහ පැහැදිලි කර ගන්න දේවල් ගොඩක් හිතෙනවා. විශේෂයෙන්ම ඒක ඔවුන්ගේ පළමු ගර්භණී අවස්ථාව නම් මේ විදිහට දේවල් හිතෙනවා වැඩියි, මොකද අත්දැකීම් අඩුයිනේ. මේ ලිපියෙන්, ගර්භණී කාන්තාවන්ට ඔවුන්ගේ ගර්භණී කාලය තුල වැදගත් වන උපදෙස් කිහිපයක් ඉදිරිපත් කරලා  තිබෙනවා. ඔයාලට නැගෙන සමහර ගැටළු මේ මගින් නිරාකරණය කර ගන්නට පුළුවන් වේවි.
  • දියර වර්ග වැඩියෙන් පානය කරන්න: ඔබේ ගර්භණී සමයේදී දියර වර්ග හැකි තරම් පානය කිරීම ගොඩක් වැදගත්. දියර වර්ග යන්නෙන් අදහස් කරන්නේ “ජලය” පමණක්ම නෙවෙයි. ඔබට මේ ආහාර ද්‍රව්‍ය ගැනීමෙනුත් ශරීරයට අවශ්‍ය ජලය යම් ප්‍රමාණයක් ලබා ගන්නට පුළුවන්ස: කිරි, පලතුරු යුෂ, පලතුරු සහ එළවළු (පලතුරු සහ එළවළු ද ඔබේ ශරීරයට යම් තරල ප්‍රමාණයක් සපයයි). ඔබ ගර්භණීව සිටියදී ජලය පානය කරන්නට නොහැකි වීම සාමාන්‍ය දෙයක්. ඒ ගැන හිතා හිත කරදර කර ගන්නේ නැතුව, සෑම විටම ජලය වෙනුවට වෙනත් සෞඛ්‍ය සම්පන්න දියර වර්ගයක් පානය කරන්නට උත්සාහ කරන්න. ඔබේ පානීය මට්ටම වෙනත් අය සමඟ සංසන්දනය කරන්න යන්න එපා. ඔබට හැකි පමණින් දියර වර්ග පානය කිරීමට උත්සාහ කරන්න.
  • කැෆේන් සහිත බීම පානය කිරීමෙන් වළකින්න: ගර්භණී සමයේදී ඔබ කැෆේන් සහිත බීම විශාල ප්‍රමාණයක් පරිභෝජනය කරන්නට නම් එපා. අධික කැෆේන් පරිභෝජනය ගර්භණී සමයේදී විවිධ ගැටළු වලට තුඩු දෙන්නට පුළුවන්. ඒ නිසා, ඔබේ ගර්භණී කාලය තුළ එවැනි බීම (තේ සහ කෝපි වැනි) පානය කිරීම වළක්වා ගත හැකි නම් වඩා හොඳයි.
  • දුම්පානය සහ මත්පැන් පානයෙන් වලකින්න: ඔබ ගර්භණී සමයේදී වත් දුම්පානය නතර කළ යුතුයි. ඔබ ගර්භණී නොවූවත් දුම් පානය කිරීම හොඳ නැහැ, නමුත් දැන් එය වඩාත් වැදගත් වන්නේ ඔබ වෙනත් ජීවිතයකුත් ඔබේ කුස තුල පෝෂණය කරන නිසායි! නිකොටින් සහ මධ්‍යසාර ඔබේ දරුවාට පමණක් නොවෙයි ඔබටත් කොහෙත්ම හිතකර වන්නේ නැහැ. නිකොටින් සහ මධ්‍යසාර පරිභෝජනය ගර්භණී සමයේදී විවිධ ගැටළු වලට තුඩු දෙන්නට පුළුවන්. ඒ වගේම, එය ඔබේ දරුවාගේ මානසික හා ශාරීරික වර්ධනයට බලපාන්නටත් පුළුවන්.
  • සමහර ආහාර ගැනීමෙන් වළකින්න: අමු බිත්තර, අමු මාළු, අමු මස්, භාගෙට පිසින ලද බිත්තර, භාගෙට පිසින ලද මස්, භාගෙට පිසින ලද මාළු, රසදිය ප්‍රතිශතය ඉහල මාළු, පැස්ටරීකරණය නොකළ කිරි, අන්නාසි වැනි අධික ආම්ලික පලතුරු ආදිය ආහාරයට ගැනීමෙන් වළකින්න.
  • සෞඛ්‍ය සම්පන්න ආහාර අනුභව කරන්න.
  • ක්‍රියාශීලී වන්න: ඔබ ගර්භණීව සිටියදී ක්‍රියාශීලීව සිටීම ඉතාම සුදුසුයි. උදාහරණයක් ලෙස, පොඩි දුරක් සාමාන්‍ය වේගයෙන් ඇවිදීම (විනාඩි 10-20ක් පමණ) ක්‍රියාශීලී භාවය ඇති කර ගැනීමට වඩා හොඳ ක්‍රමයක්. මෙය ඔබේ ශක්ති මට්ටම ඉහළ නැංවීමට ද උපකාරී වෙනවා. ඒ එක්කම මෙවැනි කුඩා ක්‍රියාකාරකම් ඔබේ මාංශ පේශි තද වීම වළක්වනවා. ඔබට අනුගමනය කළ හැකි තවත් ගර්භණී සමයට සුදුසු ව්‍යායාම පිළිබඳව දැනුවත් වීම සඳහා ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගන්නට ඔබට පුළුවන්. මවැනි ක්‍රියාකාරකම් වලින් ඔබේ ගර්භණී කාලය තුළ ඔබට වඩාත් සැහැල්ලුවක් දැනේවි. 
  • ඔබේ ගර්භණී සමය තුල සතුටින් ධනාත්මක සිතුවිලි ඇතිව ජීවත් වන්න: ආතති තත්වයන් ඇති නොවන ආකාරයට මනස සන්සුන්ව පවත්වා ගැනීමට පුරුදු වෙන්න. මෙය ඔබේ කුස තුල වැඩෙන ළදරුවාට ආරක්ෂිත හා පෝෂණය වන පරිසරයක් නිර්මාණය කිරීමට උපකාරී වේ. තමන් වෙනුවෙන් යම් කාලයක් වෙන් කරගෙන ඒ කාලයේ තමන් වඩාත් ප්‍රිය කරන කටයුතු වල යෙදෙන්න (උදා: පොත් කියවීම, ගීත වලට සවන් දීම, රූපලාවන්‍ය කටයුතු වල යෙදීම, නිසි ප්‍රමිතියකින් යුතුව සිදු කරන ප්‍රසව සම්භාහන කර ගන්න පුළුවන් ඔබ කැමති නම්).
  • අවශ්‍ය නම් උදව් ඉල්ලන්න පසුබට වෙන්නට එපා.
  • භාවනා කිරීම: මෙය ඔබේ ශරීරය සැහැල්ලුවෙන් තබා ගැනීමට භාවිතා කල හැකි ඵලදායි ක්‍රමයකි. භාවනා කිරීමට අමතරව ගැඹුරින් හුස්ම ගැනීමේ ව්‍යායාම වලද යෙදෙන්නට ඔබට පුළුවන්.
ගර්භණී සමය තුල ඔබට නැගුනු සමහර ප්‍රශ්නවලට පිළිතුරු ලබා ගැනීමට මේ ලිපිය ඔබට යම් ආකාරයකින් උපකාරී වන්නට ඇති කියා මම බලාපොරොත්තු වෙනවා. ඔබට තවත් ගැටළු සහ නිරාකරණය කර ගත යුතු දේවල් තිබේ නම් සෑම විටම ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගැනීම වඩා සුදුසුයි.




පින්තූර: PublicDomainPictures from Pixabay (https://pixabay.com/)