ආහාර ගැනීම ප්‍රීතිමත් ජීවිතයක් පවත්වා ගැනීමට හේතු වන සාධක වලින් එකක් වේ. නීරෝගී ජීවිතයක් ගත කිරීමටත් ඔබේ ශරීරයේ බර පාලනය කර ගැනීමටත් ඔබ ගන්නා ආහාර වල සමබරතාවය වැදගත් වේ. නමුත් මේ නිසා ඔබේ සෞඛ්‍යය ගැන පමණක්ම සිතා ඔබ සතුටින් භුක්ති විඳින ආහාර සම්පූර්ණයෙන්ම අත් හරින්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වෙනුවට, විවිධත්වය සහ මධ්‍යස්ථභාවය ඉලක්ක කර ගෙන ඒ අනුව ඔබේ ආහාර රටාව පවත්වාගෙන යන්න. සෞඛ්‍ය සම්පන්න බවට මුල් තැන දෙන අතරම විවිධ රස, සුවඳ, පෙනුම සහ වර්ණ සහිත ආහාර වලින් සතුටක් ලබන්න.
ඔබට නිරෝගී දිවියක් පවත්වා ගැනීමට ශක්තිය හා පෝෂ්‍ය පදාර්ථ සපයන ආහාර කාණ්ඩ හයක් තිබෙනවා. මේ සෑම ආහාර කාණ්ඩයක්ම ඔබේ ශරීරයට අවශ්‍ය විවිධ පෝෂ්‍ය පදාර්ථ ලබා දෙනවා. ඉතින් අපි බලමු ඒ ආහාර කාණ්ඩ මොනවාද කියලා:
1. ධාන්‍ය වර්ග සහ අල වර්ග
සහල්, තිරිඟු, කුරක්කන්, බඩ ඉරිඟු , සහල් සහ තිරිඟු පිටි වලින් සකසන ආහාර (පාන්, නූල් ආප්ප ආදිය)
අල වර්ග:- මඤ්ඤොක්කා, අර්තාපල් සහ බතල, ඉන්නල, කිරි අල
පිෂ්ඨය සහිත එළවලු- කොස්, දෙල්
මේ ආහාර ඔබේ දෛනික කටයුතු සඳහා ශක්තිය සපයයි.
2. පලතුරු
කෙසෙල්, අඹ, පැපොල්, අන්නාසි, දොඩම්, පේර, අලිගැටපේර ආදිය. මේ ආහාර රෝග වලින් ඔබව ආරක්ෂා කරයි
3. එළවළු
කොළ වර්ග- කන්කුන්, නිවිති, ගොටුකොළ, මුකුනුවැන්න, සාරණ, කතුරුමුරුන්ගා, මුරුංගා කොළ යනාදිය
එළවළු - කරවිල, වම්බටු, අළු කෙසෙල්, මුරුංගා, තක්කාලි, කැරට්, බීට් ආදිය.
මේ ආහාර රෝග වලින් ඔබව ආරක්ෂා කරයි
4. මාළු, මස්, බිත්තර, පියලි සහ ඇට වර්ග
මාළු - මිරිදිය මාළු සහ මුහුදු මාළු, හාල්මැස්සන්, වේලපු මාළු, කටුව සහිත මාළු (ඉස්සන්, දැල්ලන්)
මස් - කුකුළු මස්, හරක් මස්, ඌරු මස්, එළුමස්
බිත්තර - කිකිළි බිත්තර, තාරා බිත්තර, වටු බිත්තර
පියලි සහ ඇට වර්ග - කඩල, මුං ඇට, කව්පි, සෝයා, බෝංචි, කොල්ලු, පරිප්පු
මේ ආහාර ඔබේ ශරීරයේ වර්ධනයට හා නඩත්තු කිරීමට උපකාරී වේ
5. කිරි නිෂ්පාදන
කිරි, මුදවපු කිරි, යෝගට්, චීස්
මේ ආහාර ඔබේ අස්ථි හා දත් වර්ධනයට හා නඩත්තු කිරීමට උපකාරී වේ
6. තෙල් සහිත ඇට වර්ග සහ බීජ
පොල්, කජු, රට කජු, කොට්ටං, වට්ටක්කා ඇට
පොල් කිරි, පොල්තෙල්, තල තෙල්, පාම් තෙල්, එළවලු තෙල්
බටර්, මාගරින්, ගිතෙල්
මේ ආහාර ශාරීරික ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය ශක්තිය ලබා දීමට උපකාරී වේ
මෙම සෑම කාණ්ඩයකටම අයත් අහාර දිනපතා අනුභව කිරීමට වග බලා ගන්න. කාණ්ඩ එකක් හෝ දෙකකින් විශාල ප්‍රමාණයක් අනුභව කරනවාට වඩා මේ එක් එක් කාණ්ඩයෙන් සාමාන්‍ය ප්‍රමාණයට ආහාර ඔබේ ආහාර වේල් වලට ඇතුළත් කිරීම වැදගත් වෙනවා. මෙය ඔබේ ආහාර වේලෙහි විවිධත්වය සහතික කරන අතරම එමඟින් ඔබේ ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ දිනපතා ලබා දීමත් සිදු කරනවා.
එක් එක් ආහාර කාණ්ඩයෙන් කොපමණ ප්‍රමාණයක් පරිභෝජනය කළ යුතුද?
සෑම ආහාර කාණ්ඩනම දිනකට පරිභෝජනය කල යුතු ප්‍රමාණය එක එක පුද්ගලයාගේ වයස, ස්ත්‍රී පුරුෂ භාවය, ශරීර ප්‍රමාණය, ක්‍රියාකාරීත්වයේ මට්ටම සහ ජීවන චක්‍රයේ තමන් දැනට ගෙවන අවධිය මත රඳා පවතිනවා. රෝගාබාධ ද අතිරේකව සලකා බැලීම වැදගත්. සෑම විටම මෙවැනි උපදෙස් ලදා ගැනීම සඳහා ඔබගේ පවුලේ වෛද්‍යවරයාගේ හෝ සුදුසුකම් ලත් පෝෂණ වේදියෙකුගේ සහය පැතීම වැදගත් වෙනවා. ඔවුන් විසින් ඉහත සඳහන් කල කාරනා සලකා බැලීමෙන් පසුව සමහර ආහාර වලින් වැඩි ප්‍රමාණයක් (ධාන්‍ය, පලතුරු සහ එළවළු) සහ අනෙක් ඒවායින් අඩුවෙන් (මේද හා තෙල්) අනුභව කරන්නට ඔබට උපදෙස් ලබා දෙන්නට පුළුවන්. එවැනි උපදෙස් ලබන තෙක් සමබල ආහාර වේලක් ගැනීම වඩා සුදුසුයි.
විටමින් සහ ඛනිජ ලවණ වල කාර්යභාරය
ඔබේ දෛනික පෝෂණ අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා විටමින් පෙති වැනි සකසන ලද අතිරේක ආහාර වලින් නොව පෝෂණ ගුණයෙන් බහුල නැවුම් ස්වභාවික ආහාර වලින් සපුරා ගැනීමට උත්සාහ කිරීම වඩාත් සුදුසුයි. ස්වභාවික ආහාරවල වලින් ඔබේ සිරුරට ලැබෙන සෞඛ්‍යමය වාසි බොහොමයක් වන අතර මේ සියල්ල එලෙසින්ම අතිරේකපෙති වැනි ආහාර වලින් ලබා ගැනීමට නොහැකි වීමට හැකියි. කෙසේ වෙතත්, සමහර අවස්ථාවල ඔබේ වෛද්‍යවරයා විසින් එවැනි පෙති වර්ග ආදිය නිර්දේශ කරන්නේ නම් ඔබ ඒවා ලබා ගැනීම කල යුතුය.
නිර්මාංශ ආහාර නිවැරදි ලෙස සැලසුම් කර ඇත්නම් සෞඛ්‍ය සම්පන්න සහ පෝෂ්‍යදායී වෙනවා. ප්‍රෝටීන්, යකඩ, විටමින් බී 12 කැල්සියම් සහ සින්ක් වැනි පෝෂ්‍ය පදාර්ථ ඌනතාවයන් නිර්මාංශිකයින් අතර බහුලව දක්නට ලැබෙන අතර විවිධත්වයෙන් යුතු ආහාර වර්ග ඔබේ දෛනික ආහාර වේලට ඇතුළත් කිරීමෙන් මෙවැනි ඌනතාවයන් ඇති වීම වලක්වා ගන්නට පුළුවන්.
සියළුම නිර්මාංශිකයින් තම දෛනික ආහාර වේලට ධාන්‍ය වර්ග, පියලි සහ ඇට වර්ග, තෙල් සහිත අට සහ බීජ අවශ්‍ය තරම් ඇතුලත් කර ගන්නට වග බලා ගැනීම වැදගත්ය. පලතුරු, එළවළු සහ තද කොළ පැහැති කොළ වර්ගද දෛනික අවශ්‍යතා සපුරාලීමට යොදා ගැනීම වැදගත් වේ. විවිධ කිරි නිෂ්පාදනයන්ද දෛනික ආහාර වේලට එකතු කර ගත යුතු වැනී එමගින් අස්ථි හා දත් වර්ධනයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සපයන අතරම ශරීරයේ වර්ධනයට හා නඩත්තු කිරීමටද ඒවා උපකාරී වන නිසයි.
පින්තූර: අන්තර්ජාලයෙන් සහ PublicDomainPictures from Pixabay (https://pixabay.com/)