Thursday, August 22, 2019

ගර්භණී  මව්වරුන්ට වැදගත් වන උපදෙස්



ඔබත් ගර්භණී මවක්ද? ඔබටත් මේ වගේ ප්‍රශ්න හිතට නැගිලා තියෙනවද?

"මේ කාලේ විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනි දේවල් මොනවද දන්නේ නැහැ"
"තේ කෝපි හෙම බොන්න එපා කිව්වේ ඇයි දන්නේ නෑ"
"අනේ මගේ හිත ටිකක් සැහැල්ලු කර ගන්න තිබුන නම් හොඳයි"

මේ වගේ දේවල් ඔයාලටත් හිතිලා තියෙනවා නම් මේ ලිපිය ඔයාලට වැදගත් වේවි.

ගර්භණී කාන්තාවන්ට හෝ ගැබිණි බව බලාපොරොත්තු වන කාන්තාවන්ට සාමාන්‍යයෙන් ඔවුන්ගේ ගර්භණී සමය තුලදී  නොයෙක් ගැටළු සහ පැහැදිලි කර ගන්න දේවල් ගොඩක් හිතෙනවා. විශේෂයෙන්ම ඒක ඔවුන්ගේ පළමු ගර්භණී අවස්ථාව නම් මේ විදිහට දේවල් හිතෙනවා වැඩියි, මොකද අත්දැකීම් අඩුයිනේ. මේ ලිපියෙන්, ගර්භණී කාන්තාවන්ට ඔවුන්ගේ ගර්භණී කාලය තුල වැදගත් වන උපදෙස් කිහිපයක් ඉදිරිපත් කරලා  තිබෙනවා. ඔයාලට නැගෙන සමහර ගැටළු මේ මගින් නිරාකරණය කර ගන්නට පුළුවන් වේවි.
  • දියර වර්ග වැඩියෙන් පානය කරන්න: ඔබේ ගර්භණී සමයේදී දියර වර්ග හැකි තරම් පානය කිරීම ගොඩක් වැදගත්. දියර වර්ග යන්නෙන් අදහස් කරන්නේ “ජලය” පමණක්ම නෙවෙයි. ඔබට මේ ආහාර ද්‍රව්‍ය ගැනීමෙනුත් ශරීරයට අවශ්‍ය ජලය යම් ප්‍රමාණයක් ලබා ගන්නට පුළුවන්ස: කිරි, පලතුරු යුෂ, පලතුරු සහ එළවළු (පලතුරු සහ එළවළු ද ඔබේ ශරීරයට යම් තරල ප්‍රමාණයක් සපයයි). ඔබ ගර්භණීව සිටියදී ජලය පානය කරන්නට නොහැකි වීම සාමාන්‍ය දෙයක්. ඒ ගැන හිතා හිත කරදර කර ගන්නේ නැතුව, සෑම විටම ජලය වෙනුවට වෙනත් සෞඛ්‍ය සම්පන්න දියර වර්ගයක් පානය කරන්නට උත්සාහ කරන්න. ඔබේ පානීය මට්ටම වෙනත් අය සමඟ සංසන්දනය කරන්න යන්න එපා. ඔබට හැකි පමණින් දියර වර්ග පානය කිරීමට උත්සාහ කරන්න.
  • කැෆේන් සහිත බීම පානය කිරීමෙන් වළකින්න: ගර්භණී සමයේදී ඔබ කැෆේන් සහිත බීම විශාල ප්‍රමාණයක් පරිභෝජනය කරන්නට නම් එපා. අධික කැෆේන් පරිභෝජනය ගර්භණී සමයේදී විවිධ ගැටළු වලට තුඩු දෙන්නට පුළුවන්. ඒ නිසා, ඔබේ ගර්භණී කාලය තුළ එවැනි බීම (තේ සහ කෝපි වැනි) පානය කිරීම වළක්වා ගත හැකි නම් වඩා හොඳයි.
  • දුම්පානය සහ මත්පැන් පානයෙන් වලකින්න: ඔබ ගර්භණී සමයේදී වත් දුම්පානය නතර කළ යුතුයි. ඔබ ගර්භණී නොවූවත් දුම් පානය කිරීම හොඳ නැහැ, නමුත් දැන් එය වඩාත් වැදගත් වන්නේ ඔබ වෙනත් ජීවිතයකුත් ඔබේ කුස තුල පෝෂණය කරන නිසායි! නිකොටින් සහ මධ්‍යසාර ඔබේ දරුවාට පමණක් නොවෙයි ඔබටත් කොහෙත්ම හිතකර වන්නේ නැහැ. නිකොටින් සහ මධ්‍යසාර පරිභෝජනය ගර්භණී සමයේදී විවිධ ගැටළු වලට තුඩු දෙන්නට පුළුවන්. ඒ වගේම, එය ඔබේ දරුවාගේ මානසික හා ශාරීරික වර්ධනයට බලපාන්නටත් පුළුවන්.
  • සමහර ආහාර ගැනීමෙන් වළකින්න: අමු බිත්තර, අමු මාළු, අමු මස්, භාගෙට පිසින ලද බිත්තර, භාගෙට පිසින ලද මස්, භාගෙට පිසින ලද මාළු, රසදිය ප්‍රතිශතය ඉහල මාළු, පැස්ටරීකරණය නොකළ කිරි, අන්නාසි වැනි අධික ආම්ලික පලතුරු ආදිය ආහාරයට ගැනීමෙන් වළකින්න.
  • සෞඛ්‍ය සම්පන්න ආහාර අනුභව කරන්න.
  • ක්‍රියාශීලී වන්න: ඔබ ගර්භණීව සිටියදී ක්‍රියාශීලීව සිටීම ඉතාම සුදුසුයි. උදාහරණයක් ලෙස, පොඩි දුරක් සාමාන්‍ය වේගයෙන් ඇවිදීම (විනාඩි 10-20ක් පමණ) ක්‍රියාශීලී භාවය ඇති කර ගැනීමට වඩා හොඳ ක්‍රමයක්. මෙය ඔබේ ශක්ති මට්ටම ඉහළ නැංවීමට ද උපකාරී වෙනවා. ඒ එක්කම මෙවැනි කුඩා ක්‍රියාකාරකම් ඔබේ මාංශ පේශි තද වීම වළක්වනවා. ඔබට අනුගමනය කළ හැකි තවත් ගර්භණී සමයට සුදුසු ව්‍යායාම පිළිබඳව දැනුවත් වීම සඳහා ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගන්නට ඔබට පුළුවන්. මවැනි ක්‍රියාකාරකම් වලින් ඔබේ ගර්භණී කාලය තුළ ඔබට වඩාත් සැහැල්ලුවක් දැනේවි. 
  • ඔබේ ගර්භණී සමය තුල සතුටින් ධනාත්මක සිතුවිලි ඇතිව ජීවත් වන්න: ආතති තත්වයන් ඇති නොවන ආකාරයට මනස සන්සුන්ව පවත්වා ගැනීමට පුරුදු වෙන්න. මෙය ඔබේ කුස තුල වැඩෙන ළදරුවාට ආරක්ෂිත හා පෝෂණය වන පරිසරයක් නිර්මාණය කිරීමට උපකාරී වේ. තමන් වෙනුවෙන් යම් කාලයක් වෙන් කරගෙන ඒ කාලයේ තමන් වඩාත් ප්‍රිය කරන කටයුතු වල යෙදෙන්න (උදා: පොත් කියවීම, ගීත වලට සවන් දීම, රූපලාවන්‍ය කටයුතු වල යෙදීම, නිසි ප්‍රමිතියකින් යුතුව සිදු කරන ප්‍රසව සම්භාහන කර ගන්න පුළුවන් ඔබ කැමති නම්).
  • අවශ්‍ය නම් උදව් ඉල්ලන්න පසුබට වෙන්නට එපා.
  • භාවනා කිරීම: මෙය ඔබේ ශරීරය සැහැල්ලුවෙන් තබා ගැනීමට භාවිතා කල හැකි ඵලදායි ක්‍රමයකි. භාවනා කිරීමට අමතරව ගැඹුරින් හුස්ම ගැනීමේ ව්‍යායාම වලද යෙදෙන්නට ඔබට පුළුවන්.
ගර්භණී සමය තුල ඔබට නැගුනු සමහර ප්‍රශ්නවලට පිළිතුරු ලබා ගැනීමට මේ ලිපිය ඔබට යම් ආකාරයකින් උපකාරී වන්නට ඇති කියා මම බලාපොරොත්තු වෙනවා. ඔබට තවත් ගැටළු සහ නිරාකරණය කර ගත යුතු දේවල් තිබේ නම් සෑම විටම ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගැනීම වඩා සුදුසුයි.




පින්තූර: PublicDomainPictures from Pixabay (https://pixabay.com/)

No comments:

Post a Comment