Sunday, September 15, 2019

ලැක්ටේෂන් කුකීස් (මව් කිරි වඩවන විස්කෝතු)




අද ලිපියෙන් මේ බ්ලොග් එකේ පළමු කෑම වට්ටෝරුව ඉදිරිපත් කරන්නයි සූදානම් වෙන්නේ. මේක කිරි දෙන මව්වරුන්ගේ කිරි නිෂ්පාදනය වැඩි කර ගන්න පුළුවන් ආහාරයක වට්ටෝරුවක්. 

ලංකාවේ ඉන්න කිරි දෙන මව්වරුන්ට නම් කොස්, පොලොස්, කිරි මෝර මාළු, කිරි අඟුණ වගේ  කිරි වඩවන ආහාර ගොඩක් දේවල් පහසුවෙන් සොයා ගන්නට පුළුවන්. නමුත් සහමර මව්වරුන්ට, විශේෂයෙන්ම පිටරටවල් වල ජීවත් වෙන මව්වරුන්ට මේ වගේ ආහාර සොයා ගන්නට අපහසුයි. හුඟක් කිරි දෙන මව්වරුන් මේ වගේ ප්‍රශ්න ඉදිරිපත් කරනවා දැක ගන්නට පුළුවන්.

"මට කොස් පොලොස් වගේ දේවල් මෙහෙ හොයා ගන්න අමරුයිනේ. මට ඒ වෙනුවට හදා ගන්න කෑම ජාතියක් කියනවද?"
"අනේ මගේ කිරි වැඩි කර ගන්න ලේසියෙන් හදා ගන්න ඒ වගේම කල් තියා ගන්න පුළුවන් කෑම වර්ගයක් කියන්නකෝ"
"මම මෝර මාළු, පොලොස් වගේ දේවල් කනවා, ඊට අමතරව තව පැණි රසට වගේ කන්න පුළුවන් කිරි වැඩි කරන කෑම ජාති මොකුත් නැද්ද අනේ"

ඉතින් ඒ වගේ මව්වරුන්ට පහසුවෙන් සකසා ගන්නට පුළුවන් පෝෂ්‍යදායි ඒ වගේම ඉතා හොඳින් කිරි වඩවන ආහාර වට්ටෝරුවක් තමයි පහතින් ඉදිරිපත් කරලා තියෙන්නේ. ලැක්ටේෂන් කුකීස් තමයි මේ ආහාරය. කිරි දෙන මව්වරුන්ට විතරක් නෙවෙයි, අවුරුද්දට වැඩි පොඩි දරුවන්ට වගේම ඕනෑම වැඩිහිටි කෙනෙක්ට ආහාරයට සුදුසු පෝෂණ ගුණයෙන් අනූන කෑමක් තමයි මේ ලැක්ටේෂන් කුකීස් කියන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනි, මම ඉලෙක්ට්‍රික් බීටර් එකක් පාවිච්චි කරන්නේ නැතුව තමයි මේ කුකීස් හදන්නේ. ඉතින් ඔයාලට ඉලෙක්ට්‍රික් බීටර් එකක් නැත්නම් ඒ ගැන කරදර වෙන්න ඕනි නැහැ, මොකද මේ වට්ටෝරුවට ඒක අවශ්‍ය වෙන්නේ නැහැ.

මම 'Pinterest' කියන වෙබ් අඩවියෙන් හොයා ගත්ත වට්ටෝරුවකට අවශ්‍ය පරිදි වෙනස් කම් සිදු කරලා තමයි පහත තියෙන වට්ටෝරුව සකසාගෙන තියෙන්නේ. මම 'Pinterest' එකෙන් ගත්ත වට්ටෝරුවේ ලින්ක් එක පහලින් ඉදිරිපත් කරලා තියෙනවා. දැන් එහෙනම් අපි බලමු කොහොමද මේ කුකීස් හදා ගන්නේ කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය:
අවශ්‍ය ද්‍රව්‍ය 
  • බටර් මේස හැඳි 6 (85 g)
  • පොල් තෙල් මේස හැඳි 2 (28 g)
  • දුඹුරු සීනි කෝප්ප ½ (100 g) [සුදු සීනි නම් කෝප්ප ¾ (170 g)]
  • බෘව(ර්)ස් යීස්ට් මේස හැඳි 2 ½ (21 g)
  • ඕට්ස් කෝප්ප 1 ½ (135 g)
  • පිටි කෝප්ප ¾ (90 g)
  • චොකලට් චිප්ස් කෝප්ප ½ (90 g)
  • බිත්තර 1
  • ෆ්ලැක්ස් ඇට මේස හැඳි 1 1/2
(බෘව(ර්)ස් යීස්ට් සහ ෆ්ලැක්ස් ඇට හොයා ගන්නට නැති නම් ඒ දෙකම වෙනුවට තල ඇට මේස හැඳි 4ක් ගන්න)
  • වතුර මේස හැඳි 1
  • බේකින් පවුඩර් තේ හැඳි 1/2
  • වැනිලා තේ හැඳි 1
  • කුරුඳු කුඩු තේ හැඳි 1/2
මේ වට්ටෝරුවේ තිබෙන අමුද්‍රව්‍ය වලින් ඕට්ස්, පොල්තෙල්, බෘව(ර්)ස් යීස්ට් සහ ෆ්ලැක්ස් ඇට කියන්නේ කිරි දෙන මවකගේ කිරි සැපයුම වැඩි කර ගන්නට විශේෂයෙන් උපකාරී වන අමුද්‍රව්‍යයි. මම කලිනුත් සඳහන් කරලා තිබෙන ආකාරයට, බෘව(ර්)ස් යීස්ට් සහ ෆ්ලැක්ස් ඇට සොයා ගන්නට බැරි අයට ඒ වෙනුවට තල ඇට පාවිච්චි කරන්නට පුළුවන්. තල ඇට කියන්නෙත් මව් කිරි නිෂ්පාදනය වැඩි කරගන්නට මහඟු ලෙස උපකාරී වන අහාර වර්ගයක්.

ඒ එක්කම ඔබ බිත්තර පාවිච්චි කරන්නේ නැති කෙනෙක් නම් මේ වට්ටෝරුවෙන් බිත්තර ඉවත් කරන්නට පුළුවන්. නමුත් ඒ වෙනුවට වැඩිපුර පොල් තෙල් මේස හැන්දක් එකතු කල යුතුයි. ඒ අනුව, ඔබ මේ වට්ටෝරුව බිත්තර නැතුව හදනවා නම් එකතු කල යුතු මුළු පොල් තෙල් මේස හැඳි ප්‍රමාණය 3 යි (42 g). මේ කුකීස් වල පැණි රස ගතිය අඩුවෙන් හදන්න ඕනි කෙනෙක්ට සීනි ප්‍රමාණයත් තරමක් අඩු කර ගන්නට පුළුවන්. දුඹුරු සීනි පාවිච්චි කරනවා නම් දීල තිබෙන ප්‍රමාණයෙන් මේස හැඳි 2කුත්, සුදු සීනි පාවිච්චි කරනවා නම් දීල තිබෙන ප්‍රමාණයෙන් මේස හැඳි 3කුත් අඩු කරලා එකතු කර ගන්නට පුළුවන්. දැන් අපි කුකීස් හදන ආකාරය බලමු. වීඩියෝ දර්ශන සහිතව කුකීස් සාදන ආකාරය නැරඹීම සඳහා කරුණාකර පහත වීඩියෝව බලන්න.

පළමුව, බේකින් ට්‍රේ එකට පාච්මන්ට් කඩදාසි දමා සකසා ගන්න. ඉන්පසු අවන් එක උෂ්ණත්වය 170⁰C ට රත් වෙන්නට දමන්න.

දැන්, භාජනයකට බටර් සහ පොල්තෙල් එකතු කරන්න. එය සිනිඳු ක්‍රීම් එකක් වන තුරු මිශ්‍ර කරන්න. ඉන්පසු ක්‍රමයෙන් සීනි එකතු කර මිශ්‍ර කරන්න. ඔබ පවුඩර් වගේ කුඩු කල සීනි පාවිච්චි කරනවා නම්, සීනි ඉක්මනින්ම දිය වෙන නිසා ඔබට දිගු වෙලාවක් මිශ්‍ර කරන්න  අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ කැට සහිත සීනි නම් භාවිතා කරන්නේ, සීනි කැට දිය වෙන්නට වැඩි කාලයක් ගත වෙනවා. සීනි සම්පූර්ණයෙන්ම වගේ දිය වුනාට පස්සේ බිත්තරය එකතු කර මිශ්‍ර කරන්න. වැනිලා ද එකතු කර මිශ්‍ර කරන්න. දැන් පිටිවලට බේකින් පවුඩර් එක් කරන්න. වරින් වර පිටි සහ බේකින් පවුඩර් මිශ්‍රණය කුකීස් මිශ්‍රණයට හලා ගෙන හොඳින් මිශ්‍ර කරන්න. සියලු පිටි හොඳින් මිශ්‍ර වූ පසු වතුර මේස හැන්ද එක් කරන්න. ඔබේ කුකීස් මිශ්‍රණය දිය ගතිය වැඩි යයි ඔබට හිතෙනවා නම්, ඔබට වතුර එකතු නොකර ඉන්නට පුළුවන්. බෘව(ර්)ස් යීස්ට් සහ ෆ්ලැක්ස් ඇට එකතු කර සියල්ල හොඳින් මිශ්‍ර කරන්න. ඔබට බෘව(ර්)ස් යීස්ට් සහ ෆ්ලැක්ස් ඇට නැත්නම්, ඒ වෙනුවට තල ඇට එකතු කරන්නට පුළුවන්.

අවසාන මිශ්‍රණයේ පදම 
මිශ්‍ර කරන අතර තුර වරින් වර බඳුනේ  වටේ තැවරී ඇති මිශ්‍රණයේ කොටස් හැන්දෙන් මැදට එකතු කර ගන්නට අමතක කරන්නට එපා. වරින් වර කුකීස් මිශ්‍රණයට ඕට්ස් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. කුරුඳු කුඩුත් එක් කරන්න. කුරුඳු කුඩු වල රසයට ඔබ අකමැති නම්, ඔබට මෙම පියවර මඟ හරින්නට පුළුවන්. චොකලට් චිප්ස් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. දැන් ඔබ සියලු අමුද්‍රව්‍ය එකතු කර අවසන්. අවසාන මිශ්‍රණයේ පදම ඕනවට වඩා ඝනකමත් නැති දියාරුත් නැති එකක් විය යුතුයි.





බේකින් ට්‍රේ එකට දැමූ කුකී බැටරය
බේකින් ට්‍රේ එකට කුකීස් මිශ්‍රණය බෝල වශයෙන් දමන්න. මම සාමාන්‍යයෙන් මේ සඳහා මේස හැන්දක් භාවිතා කරනවා. බේක් වීමේදී මේ බෝල විස්කෝතු ලෙස පැතිරෙනවා. ඒ නිසා මේ කුකීස් බෝල දෙකක් අතර පරතරය අඟල් 2 පමණ තබන්න ඕනි. 170⁰C ට රත් වුනු අවන් එකේ කුකීස් ටික විනාඩි 15-18 ක් පමණ බේක් කර ගන්න. ඔබේ අවන් එකේ වර්ගය සහ නිරවද්‍යතාවය අනුව බේක් වෙන්නට ගත වන කාලය වෙනස් විය හැකිය. එමනිසා, විනාඩි 12 ක් හෝ 13 කට පසු ඔබේ කුකීස් පරීක්ෂා කිරීම වඩා හොඳයි. කුකීස් නිසි ලෙස බේක් වෙලා නම්, කුකීස් වල මුදුන කර කර ගා හැපෙනසුළු විය යුතු අතර කුකීස් වල යට තරමක් දුඹුරු පැහැති විය යුතුයි. ඒවා නිසි ලෙස බේක් වෙලා නැත්නම්, තවත් විනාඩි 2-3 ක් අවන් එකේ බේක් වෙන්නට අරින්න. ඔබට මෙම කුකීස් මිශ්‍රණයෙන් කුකීස් 24ක් පමණ සෑදිය හැකියි.

මේ කුකීස් සුළං වදින්නේ නැති ලෙස භාජනයක ගබඩා කරනවා නම්, ඒවා ශීතකරණයේ නොතබා සති 2 ක් නැවුම්ව තබා ගන්නට පුළුවන්. මේ කුකීස් ශීතකරණයක් තුළ මාසයක් තබා ගන්නට පුළුවන්.

ඔබ මව්කිරි දෙන මවක් නම්, දිනකට මේ කුකීස් 3-4 ක් පමණ ආහාරයට ගැනීමෙන් ඔබට කිරි සැපයුම වැඩි කර ගන්නට පුළුවන්. හැබැයි, මව්කිරි දෙන මව්වරුන්ට පමණක් නොවෙයි, ලොකු පොඩි ඕනෑම කෙනෙකුට මේ රසවත් හා පෝෂ්‍යදායී  ලැක්ටේෂන් කුකීස් රස විඳින්නට තහනමක් නැහැ. ඉතින් ඔයාල මේ වට්ටෝරුව උත්සාහ කරලා බලයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

වැඩි විස්තර සඳහා පහත වීඩියෝව බලන්න.






Pinterest ලින්ක් එකhttp://bit.ly/2n5nNCW
පින්තූර: PublicDomainPictures from Pixabay (https://pixabay.com/)
වීඩියෝවේ සංගීතය: https://www.bensound.com

No comments:

Post a Comment